අක්මාවට හානි වීම (සිරෝසිස්-cirrhosis)

සිරෝසීස් යනු දිගු කාලයක් පුරා අක්මාවට හානි වීම හේතුවෙන් අක්මාවේ කැළැල් ඇතිවීමයි. එම කැළැල් පටකය අක්මාවේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදු වීම වළක්වයි. සිරෝසිස් තත්ත්වය අවසානයේ දී අක්මාව ඇනහිටීම දක්වා යා හැකිය. මෙහිදී අක්මාවේ ක්‍රියාකාරිත්වය නතර වන අතර එය මාරාන්තික වේ. නමුත් සාමාන්‍යයෙන් එම තත්ත්වය ඇති වීමට වසර ගණනක් ගත වන අතර ප්‍රතිකාර කිරීම මගින් එය පමා කළ හැකිය.

සිරෝසිස් තත්ත්වයේ රෝග ලක්ෂණ

සිරෝසිස් තත්ත්වයේ මූලික අවධි වලදී ඔබට කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවනු ඇත. ඔබගේ අක්මාව වැඩිදුරටත් හානි වීමේ දී ඔබට:

මෙම තත්ත්වය තවත් දරුණු අතට හැරීමේ දී වැඩිදුර රෝග ලක්ෂණ ලෙස:

  • සම සහ ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැයක් ගැනීම (කහ උණ තත්ත්වය/ජෝන්ඩීස්)
  • රුධිරය වමනය කිරීම
  • සම කසනසුළු වීම
  • මලපහ තද පැහැති තාර වැනි ස්වභාවයක් ගැනීම
  • පහසුවෙන් රුධිර වහනය වීමේ සහ තැලුම් ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති වීම
  • තරල එකතු වීම නිසා හා උදරය(එසයිටීස් /ascites) සහ කකුල් (ඉඩීමා/oedema) ඉදිමීම

ඔබට සිරෝසිස් තත්ත්වය ඇති බවක් සිතෙනවා නම් ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසෙන්න.

සිරෝසිස් රෝග විනිශ්චය කිරීම

ඔබට සිරෝසිස් තත්ත්වයක් ඇතැයි ඔබගේ වෛද්‍ය වරයා සැක කරනවා නම්, දීර්ඝකාලීනව අක්මාවට හානි වීමක ලක්ෂණ ඇති දැයි බැලීමට ඔහු ඔබගේ රෝග ඉතිහාසය පරීක්ෂා කර, කායික පරීක්ෂණයක් සිදු කරනු ඇත. රෝග විනිශ්චය තහවුරු කිරීම සඳහා ඔබට පරීක්ෂණ සිදු කරනු ඇත. එම පරික්ෂා පහත පරිදි වේ:

  • රුධිර පරීක්ෂණ
  • ස්කෑන් පරීක්ෂණ-අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්, ට්‍රාන්සියන්ට් ඉලෙක්ට්‍රෝග්‍රැෆි ස්කෑන්, CT ස්කෑන් හෝ MRI ස්කෑන්
  • අක්මා පටක පරීක්ෂාව- සියුම් ඉඳිකටුවක් මගින් අක්මාවේ සෛල සාම්පලයක් ගෙන, අන්වීක්ෂයක් මගින් පරික්ෂා කරනු ලබයි
  • එන්ඩස්කොපි පරීක්ෂාව-බල්බයක් සහ කැමරාවක් කෙළවරේ ඇති සිහින් නම්‍යශීලී බටයක් (එන්ඩස්කෝපය -endoscope) උගුර හරහා ඔබගේ ආමාශයට ඇතුළු කර; ඔබගේ ගලනාලයේ සහ ආමාශයේ පින්තූරවල ඉදිමුණු ශිරා පවතීදැයි පරීක්ෂා කරනු ලබයි. එය සිරෝසිස් තත්ත්වයේ ලක්ෂණයකි

සිරෝසීස් තත්ත්වයට ප්‍රතිකාර කිරීම

සිරෝසිස් තත්ත්වය සම්පූර්ණයෙන් සුව කිරීමට දැනට ප්‍රතිකාරයක් නැත. නමුත් රෝග ලක්ෂණ සහ සංකූලතා කළමනාකරණය කිරීමට සහ එහි ප්‍රගමනය මන්දගාමී කිරීමට හැකිය. ප්‍රති වෛරස ඖෂධ භාවිතා කර හෙපටයිටිස් C වෛරස් ආසාදන තත්ත්වයට ප්‍රතිකාර කිරීම වැනි, අක්මා හානියට පාදක වූ හේතුවට ප්‍රතිකාර කිරීම මගින්, සිරෝසීස් තත්ත්වය දරුණු අතට හැරීම වැළැක්විය හැකිය. මධ්‍යසාර භාවිතය අවම කිරීමට හෝ එය නැවැත්වීමට හෝ ඔබ ස්ථුලතාවයෙන් පෙලේ නම් ඔබගේ බර අඩුකර ගැනීමට ඔබට උපදෙස් දෙනු ඇත. ඔබගේ අක්මාව අධික ලෙස කැලැල් සහගත වී ඇත්නම් එහි ක්‍රියාකාරිත්වය නතර විය හැකිය. මෙවැනි තත්ත්වයකට ඇති එකම ප්‍රතිකාරය අක්මාවක් බද්ධ කිරීම වේ.

සිරෝසීස් තත්ත්වයක් ඇතිවීමට හේතු වන්නේ කුමක්ද?

සිරෝසිස් තත්ත්වයේ වඩාත් සුලබ හේතූන් නම්:

  • වසර ගණනක් පුරාවට අධික ලෙස මත්පැන් පානය කිරීම
  • දීර්ඝ කාලයක් පුරාවට හෙපටයිටිස් (විශේෂයෙන් හෙපටයිටිස් C) ආසාදිත වීම
  • නන් ඇල්කොහොලික් ස්ටියටොහෙපටයිටිස් (non-alcoholic steatohepatitis)-මෙය මද්‍යසාරමය නොවන අක්මාවේ මේදය එකතු වීමේ තත්ත්වයේ (non-alcoholic fatty liver disease) වඩාත් බරපතළ ආකාරයක් වේ. මෙහිදී, අමතර මේදය එකතු වීම හේතුවෙන් අක්මාව ආසාදනය වීමක් සිදුවේ

මත්පැන් භාවිතා කිරීම- අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා අක්මාවේ සෛල වලට හානි විය හැකිය. මත්පැන් ආශ්‍රිත සිරෝසීස් තත්ත්වය සාමාන්‍යයෙන් වසර දහයක් 10 ක් හෝ ඊට වැඩි කාලයක් පුරාවට අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් ඇති වේ. අධික ලෙස මත්පැන් පානය කරන කාන්තාවන්ගේ අක්මාවට හානිවීමට පිරිමි අයට වඩා වැඩි හැකියාවක් ඇත. මෙය අඩවශයෙන් ඔවුන්ගේ ශරීර ප්‍රමාණයේ සහ ව්‍යුහයේ වෙනස්කම නිසා සිදුවේ.

සිරෝසිස් තත්ත්වය වලක්වා ගැනීම

මධ්‍යසාර භාවිතය සීමා කිරීම-මධ්‍යසාර ආශ්‍රිත සිරෝසීස් තත්ත්වය වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම්, නිර්දේශිත ප්‍රමානයෙන් මත්පැන් පානය කිරීමයි:

  • පිරිමින් සහ කාන්තාවන් සාමාන්‍යයෙන් සතියකට, මද්‍යසාර ඒකක දාහතරකට වඩා පානය නොකළ යුතුයි
  • ඔබ සතියට මද්‍යසාර ඒකක දාහතරක් දක්වා පානය කරන්නේ නම් එය දවස් තුනක් හෝ වැඩි ගණනකට බෙදන්න

සමස්තයක් ලෙස, ඔබ සම්පූර්ණයෙන් මධ්‍යසාර භාවිතයෙන් වැළකී සිටිනවා නම් එය ඉතා උචිත වේ. නමුත් ඔබ දිගටම මද්‍යසාර පානය කරනවා නම්, නිර්දේශිත ප්‍රමාණයෙන් පානය කිරීමට හැකිතාක් උත්සාහ කරන්න. ඔබට මධ්‍යසාර ආශ්‍රිත සිරෝසීස් තත්ත්වය පවතිනවා නම් ඔබ වහාම මත්පැන් පානය කිරීම නැවැත්විය යුතුයි. පාදක හේතුව කුමක් වුවත්, මධ්‍යසාර මගින් සිරෝසීස් තත්වයේ ප්‍රගමනය වේගවත් කරයි.

ඔබව හෙපටයිටිස් ආසාදනයෙන් ආරක්ෂා කර ගන්න- අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් සහ මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා එන්නත් කටු හුවමාරු කර ගැනීම මගින් ඔබට හෙපටයිටීස් B සහ C ආසාදනය විය හැකි ය. ලිංගික සබඳතා වලදී උපත්පාලක කොපු භාවිතා කිරීම සහ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් වැලකීම මගින් ඔබට හෙපටයිටීස් B සහ C ආසාදන ඇතිවීමේ අවදානම අවම කරනු ඇත. හෙපටයිටීස් B සඳහා එන්නතක් ඇති නමුත් හෙපටයිටීස් C සඳහා දැනට එන්නතක් නැත. සෞඛ්‍ය දායක ශරීර ස්කන්ධයක් අරමුණු කර ගැනීම-ඔබට සිරෝසිස් තත්ත්වයක් ඇති කල හැකි, මද්‍යසාරමය නොවන අක්මාවේ මේදය සහිත වීමේ රෝග තත්ත්වය (non-alcoholic fatty liver disease) ඇති වීමේ අවදානම අඩු කර ගැනීමට, සෞඛ්‍යවත් සමබර ආහාර වේලක් ලබා ගැනීම සහ නිතිපතා ව්‍යායාම කිරීම මඟින් සෞඛ්‍ය වත් ශරීර ස්කන්ධයක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න.

අක්මාව

අක්මාව යනු, ජීවිතය පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය ක්‍රියා සිය ගණනක් සිදුකරන අත්‍යවශ්‍ය අවයවයකි. උදාහරණයක් ලෙස එමගින්:

  • කෙටි කාලීන ශක්තිය නිපදවන කාබෝහයිඩ්‍රේටයක් වන ග්ලයිකොජන් ගබඩා කරනු ලබයි
  • මේදය ජීරණය කිරීමට උපකාර වන පිත නිපදවනු ලබයි
  • රුධිර කැටි ගැසීමට අවශ්‍ය වන ද්‍රව්‍ය නිපදවයි
  • මද්‍යසාර, විෂ ද්‍රව්‍ය හෝ ඖෂධ විෂ හරණය කොට බැහැර කරයි

ඔබගේ අක්මාව ඉතාමත් ශක්තිමත්ය. එයට දැඩි ලෙස හානි වූ පසුවද දිගටම ක්‍රියා කරනු ඇත. එසේම එයට ඉතා බරපතළ ලෙස හානි වන තුරු, එයටම අලුත්වැඩියා විය හැකිය.